හමා එන සුලඟ අද දෙන හීතල වැඩිය
පමා වෙන මෝසම් වැස්ස නො එනා හැඩය
අමාවක නෙතට හිමි කඳුලයි ගත ලෙඩය
සමාවට කරුනු කීවට මගෙ හිත දැඩිය
හෙලා නෙත කඳුලු පිපිලා රෑ තරු අතර
නෙලා කොඳ කැලුළු මල් ගෙන අහුරක් විතර
විලා සිනියක විලස හැඩ බැලු නුඹෙ නිතර
කලා පිරු සඳ අවුත් හදෙ තාමත් අඳුර
ලෙලෙන ලපලු දලු හා මල් කිණිති නැවී
වෙලෙන සර සර නගයි මද සුළඟ පෙවී
පැලෙන සේ ලය දුක ඇවිත් ගතම දැවී
හැලෙන නෙතු කඳුළු මගෙයි කුමට ද තැවී
ගජයා
No comments:
Post a Comment