Saturday, April 23, 2016

ප්‍රෙමය පසෙක ලා වෛරය පතුරුවන
සාමය ඉවතලා අත ගිනි අවි රඳන
පාපය නොම දුරැර එහි ඒ හැම ලගින
සාපය මෙය නොවෙද මේ රට නසන

මල් වැල් පිපී ගහ කොල හැම පාට වෙන
වෙල් ඉපනැල්ලෙ නව මුසු වී සුවඳ දෙන
නිල් වන තුරුලේ නිල් දිය රැල් පීරා ගලන
මල් පිදු වුව නමුදු අපි ඇයි මේ රට නසන
හෙලි වෙන නොවෙන සේ රට උකසට තබනු පෙනේ
පිලි මල් වී එකිනෙක පිල් ගෙන රට හතර කොනේ
කලි යුග කාලෙකට නොවෙනා කරදර හිසට ගෙනේ
පිලි කෙව් කරන අය ගෙන රට කරවන එකද හෙනේ
නව වසරක් ගතවෙන මේ සුබ පිරි නවමු දිනේ
තව කෙකු හට සුබ පැතුමක් තුටුසේ දෙන සැනිනේ
සුව හීනෙක සතපා හැම ජීවිත පුබුදා සුරකිමිනේ
නව අවුරුදු පැතුම කරමු එක සිත් ඇතිවුන් ලෙසිනේ
ගජයා
මිය නොගිය ඇයට......
දුර නෑ තාම නුඹ හැර ගිය හිත මතක
පුර හඳ තාම එලියයි මේ කලුවර රැයක
උර තුර තබා හිස පිරිමැදි මුදු වූ මෙලෙක
සුර විමනට ගියෙ ඇයි නුඹ දුක දී හදෙක
පෙර කල ඇසුර හදවත රිදුමක රඳවා
දුර ගමනක යන්න කල පව ඒ මොනවා
පැර දුනෙ නුඹ නොවේ ඒ දිනුවේ මරුවා
කර මත රැඳුන අත පෙර උනුසුම නැතුවා
දුල රන් තරුව වී මගේ හිත් අහසේ පායා
සුල ඟට සැලෙන හඬ රන් කිංකිනි සේයා
මල රත් තඹුරු පිපී හද බිම සිහිලක වීයා
මළ හිරු නැගෙන මේ පැය ඉකිබිඳුමක් දේයා
උනන කඳුලු බිම වට ලා මල් පිපීයන්
නැගෙන සුසුම මද පවනක් නොවීයන්
පෙලෙන හදට නුඹ ඇති බව දැනීයන්
ගෙවෙන රැයක හැම හීනෙක පෙනීයන්
ගජයා