Tuesday, December 29, 2015

නුඹ ගැන මගේ හිත ගෙතු සිත්තමකට
නුබ ගැබ පුරා එලුවා වැනි දේ දුන්නකට
පොබ කල මහද නුඹ හෙලු මුව පිපි මදහසට
පබවත සදිසි නුඹ ගැලපෙනු නැති මේ කුසට

හිත ගත දෙකක් වුව නොම ඇති මට හීල
අත දිග මදිද නෙලුමට නුඹෙ පෙම් කොමල
නැත නිදි නෙතක් උසුලා මගේ නෙතු කඳුල
ගත මෙහෙ උනත් හිත හැමවිට නුඹ අසල

අසා නුඹගෙ හඬ නුඹෙ හද හැඳිනී
පසා කෙරුනි ලය විනිවිද ගොසිනී
තොසා වැඩිනි රුව දුටු මුත් ඒ දුරිනී
අසා එවන්නේ කෙලෙසක අන්සතු බැවිනී



Monday, December 28, 2015

නිල් පාට අහස් තල කලුවකට හැඩ වෙලා
මල් වියන සේ පිපුන තරු කැටද සැඟවිලා
කල් බලා උන්නු සිත තාම තනිකඩ වෙලා
පිල් කඩට වට සුලඟ නෙතු කඳුල බොඳ කලා

ඔබ යනෙන මග දිගේ කොතෙක් මා පැමිනියද
නුඹ එක්ක පෙර ගෙවුන සබඳ කම් කොයි වෙද්ද
නුබ ගැබේ තරු කැකුලු කොයි තරම් පායද්ද
නුඹ මටම හිමි අහිමි පහන් තරුවම නොවෙද
දම් පාට සඳ නැගෙන රෑ ගෙවෙන වෙලාවක
යම් දාක දකිනු හැක අහස් කුසැ නෙතු දුරක
යම් තමට නිවි දිලෙන තරු පොකුරු වට කොට
පෙම් රිදුම් ලැබ නෙතින් මගෙන් වටකඳුලු කැට



Sunday, December 27, 2015












උඳු වප් අහසෙ මහ රෑක සීතල පුර හඳද වෙලා
නත්තලේ තරුවක්ද එක සැරේ රිදී පාටින් පායලා
පන්සලේ ඝන්ටාවේ හඬ එක්ක සීනු හඬ එක්වෙලා
බන පදයක ගැටුන ගීතිකාවක් දෙ කෙලවර පැටලිලා

එක පාට ඇස් තියෙන මිනිස්කම තිබුන මෙරට වුන් පෙරකලේ
එක ම එක ජාතියක් ලෙසින් ඉපිද තුන් හෙලය සේ නම්කලේ
එක එකා ලෙසින් නොව එකාවන් සේ උනුන් දස්කම් කලේ
එක එකා කිව් කතා වල රවටලා උනුයි අපි අපි වෙන් කලේ

වෙලා හද වත එකම රත් පැහැ ගලන රුහිරය ගතේ
වෙලා දෙපිලක එකිනෙකා ගැන සැකය සංකා වපුලතේ
සලා දෙතොලග සිනා මල් ගෙන පල්ලියේ වෙහෙරක කොතේ
පලා පෙතිහැඩට සරසමු අත් වලින් අපෙ සිනා පුරවා වතේ

ඇන්ඳ කඩමලු ජාති කුල මල ඉවතලා අපෙ ඇති හිතේ
වින්ඳ පෙර කල ලක එකලු කල තුන් හෙලුන් සිහ ගතේ
බැන්ඳ වෙහෙරක රැස් විහිදෙනා සේ ඉහල ඇති රන් කොතේ
රන්ඳ වමු අල්තාරෙ මත නොව සුහද සාමය අපෙ හදවතේ

ගජයා

Saturday, December 26, 2015

කාලය ගෙවී ගොස් බෝ දුර ඈත
ආ මග ද වැරදුන දැන නොදැන
විඩා බර දෙනෙත බැරි දුක කියන
නොදැනී ම නෙතු පියවුනි මෙතැන

පෙර එක දවසැ ඔබ මා එක ලඟක 
කර වට අතක මල් පොකුරක් එක අතක
පෙර ලෙස නොවුන මුදු නුඹෙ සිත මතක 
පර වුන නමුදු සිත තාමත් මගෙ මෙලෙක

කැකුලක ලෙසින් දෝතට මගෙ රැගෙන
අකුලක නොවෙන සිත් පඳුරක නුඹ පිපුන
කෙලෙසක නමුදු ඔබ මට අද මග හැරින
උකුලක සුවය නුඹෙ තවමත් මා සිත පෙලන

Friday, December 25, 2015

පුතේ අද නුඹෙ උපත ලද දිනේ
හිතේ මල් පිපුනා අපෙ එම දිනේ
ජීවිතේ ලොව හැම ගැලවුන දිනේ
සිතේ සතුටිනි නුඹට මව් පිය වුනේ

සිරියා දුන් ඇගෙ සුදු මුව කමල
පිරියා වෙන් පෙම මා පුද නිමල
දිරියා වන්ත මව වි ලොව පතල
මරියා වන් නොවන්නට නුඹ නෑ මෙකල

උපන් වෙලා කිරි කැටි ලෙස ගවගාලේ
දරන් දිරිය අපි දෙන්නා රැකි හැමවේලේ
හපන් කෙනෙකු ලෙසට ජීවත් වෙන තාලේ
හොඳින් පසක් කලේ නුඹෙ මව මය එවෙලේ

ලොව හැම දෙනා සමරන අද නුඹෙ උපත
පව පින නොම සොයා අනෙකුගේ සැපත
දිව පින පිනා රස මසවුලු ගෙන බුදිත
දිව සත් හලට දුර වැඩි බව උන් නොදත

හිසේ තියන් නුඹෙ බර ගෙන කරට
කුසේ තියන් මව් බිහි කල මුත් ලොවට
කෙසේ කවුරු කීවත් වුනු දෙය ලොවට
ජුසේ මමයි ජේසුගෙ පිය පුතු කමට

අමාවක රැයක් බලා සිටි පාලු සිත් අහස
අටවකට පිපුනු සදිසි පුන්චි තරු කැකුල
කලුවක නොම ගැටී හදවතක් එලි කෙරින
තුන්සිතක වත් නොතිබු පෙම් මලක් පීදුන

හාත් පස කලුවරම වෙලා වට සීතලක්
කාත් කවුරැ හෝ නොමැති මග මහ දුරක්
නෙත් පුරා නැගෙන කඳුල විය මහ බරක්
ඒත් මට නුඹෙ එලිය හිතට දුන් තව දුකක්

පාලු බව වෙලා ගෙන තිබූ දිගු පුරුද්දට
යාලු බව නුඹෙ එලිය වෙනසක්ව වී මෙ මට
ඉහිලු දුක වට කඳුල හද දෙඇස දෙක අගට
කෝල කම් එපා දුක හුරුයි පෙර මගෙ පවට

කෝල සිත මගෙ තිබූ
උන්මාද කල නුඹම
පෑල දොරකඩ උඩින්
පියෑඹුවෙ කොහෙද

ගෙනා මුතු පට සේල
තාම ඇති මහ ගෙදර
නොකියාම ගියෙ යන්ට
කල වැරදි කවුරුන්ද

හිතුවක්කාර කම් හිතේ
පලියකට ගනු නොහේ
පෙම්බවක් නුඹෙ හදවතේ
නොතිබු බව දැන් දැනේ

තාම ඉස්සර වගේ
ගුරුපාරෙ මග දිගේ
තනි හිතින් යන ඔහේ
මතයකට නුඹ එබේ

ගිය පාරෙ මග දිගේ
මතක නම් පෙර වගේ
එන්නටම නොහැකි නම්
එවාපන් සිත මගේ


පද වැලක් ලෙස බැඳී මිහිරිව ගයන්නට ජීවිතේ
හද පුරා වෙලී සිහිල දෙන්නට පවන වී සිටි ගතේ
එද වසක තිබු සෙනෙහසක් පාව ගොස් දස අතේ
අද දවසෙ අපි අතරෙ මහ දුරකි වෙන් නොවූ ජීවිතේ

සඳ කත් පිණි දිය පිරි දෝතක් රැගෙන
සඳ වට පිපුනු නිල් තරුමල් කිනිති ගෙන
සඳ කැන් වැටුන විලකින් නෙලුමක් ද ගෙන
සඳ අබිමුවට ආවා වැනි නුඹ දෙවැට පැන

නිල් තරු පොකුරු වෑ දිය මැද නලියන
කල් බල බලා සඳ අහසේ කොන සැඟවින
සල් සපු මල් සමග ඉපනැලි පුසුඹක් දැවටුන
මල් පොකුරක් ගෙන ආවෙද නුඹ අද දින

පාවී අවුත් පිරි සීතල සුලඟක් මුහුනෙ වැදී
යාවී සිහින පොදියක තිබු පෙම මහදෙ රැඳී
යාවී බිඳී ඇහැරින මග නින්දක් සුවය නොදී
පාවී ආව සුවඳක් තවමත් ඇත හදෙහි රැඳී


කර වුනු දැවුන හද බිම තෙත් නොවූ හිතක්
පර වුන ගසක පීදුන වැටකෙයියා මලක්
සිර වුන හිතට කිව හැකි පෙම නොම කවියක්
සර තැස නිවන සුලඟක් වැනි ඔබෙ ඇසුරක්

වත සඳ සදිසි රුව නුඹ නිති දන පිය දසුනක්
හිත හොඳ බවම කැටි කොට ගත් පිය තෙපුලක්
මත ගැටුමකට නොම ඇත අප දෙහදේම ඉඩක්
හිත වත් කමය ඇති එනමුදු ඔබ මට දුහුලු මලක්

හීන අහුලන අත ඇඟිල්ලක පැටලෙන්න ඉඩ කඩ නැතී
හීන පෙන්වන ඇස අගිස්සක කිමිදෙන්න දැන් පින නැතී
හීන අතහැර දෙ අත් සතරක මැදට එන්නට මට බැරී
හීන නොදකින මේ ගමන් මග ජීවිතේ උඩුගම් යතී

සඳ නේන කලුවර රෑක තනි තරුව ලෙස ඉන්න
මඳ සීත පිනි අතුල ඔබේ දෙතොල් මත ඉසින
කොඳ මලෙක ඇති මෙලක නුඹ හදට මන බැඳින
සඳ නේන හැම දාක මතකයක නුඹ රැඳෙන

දුර ඇත යන දාක මතක පොදි මලු රැගෙන
සර තැසක වෙහෙසකර මතකයන් හද පෙලන
විරහවක සොඳුරු බව යලි යලිත් ගත පෙලන
තරහකින් නොව තබමි මේ කඳුල ඔබ ගන්න

හිරු සඳු රැයද දහවල එක ලෙසම
ගෙවුනද දිනක් දින දසුනක පිටු අතර
පිරු නද නොපිරි හද පැතුමක තුරුලු කොට
හෙට හිරු නැගෙන තුරු සිටි මුව ඇඟිලි ගැන

නුඹ ලඟ සිටි නොසිටි බව මට නොම දැනුනී
තව කල් වුවද සිටියැක පෙම නුඹෙ නමිනී
වැදු හැදු දරු පැටව් මගෙ ලඟ සිටි සොඳිනී
හෙට මතු දවස උන් වෙනුවෙන් කැප කෙරෙමී

ගත හෙලු ඔබගෙ ඩා බිඳු සිඳු දියෙන් පිට
වත මට ඔබගෙ දිලි එලියකි පලිඟුවක ලෙද
සිත එක තැනක රඳවා ඔබ මුවගේ හැඩ
වත සඳ සදිසි රුව බලමුවපැටවුනගෙ හැඩ


සඳ සාවියේ කිම මේ කලු වලා කුලක සැඟවිලා

කොඳ මල් කිනිති පිපි විල් තෙරද පාලුවෙන් මිරිකිලා
ලඳ බොලඳ වදන් කවි කිව් මුවග ලඟ ගොලුවෙලා
හද මෙලෙක ඇස් අඬන ඇස් තියෙන සාවියක් තනිවෙලා


සිනා මල් පිපේවා මුලු සිත පුරා ඇඳි රටාවට
දෙනා සුව සදන හද පිරුනු රූ බර ලතාවට
අනා ගත නව ලොවක හිරු හා සිනාසෙන විට
ගෙනා කවි මල්ගොතා පලඳමි ඔබේ ගෙලවට

සඳ පහන් එලි -යට
දිලි දිලි නිවෙන තරු කැට
නුඹ පෙම් කල සිතට
උල්පතද නෙත් අග කඳුලකට

සිත පහන් කෙරුමට
ගෙතූ කවි මල්මිට
පලඳා පෙම නමට
සිනා සෙනු මේ අහස යට

කල නොයෙක් විස්කම්
වෙනසය නියත යම්
පූරුවක කල පව්කම්
නියමය එයයි සොබා දම්

මුතු කිරිල්ලියේ නුඹ දැන් කරනා කෝළම්
හිතුවාද නැතිද සිතකට ‍දෙන රිදවන රිදවුම්
නැතුවාද දිනෙක තිබුන ඇවතුම් පැවතුම්
පැතුවාද නැතිද පෙම් හීනෙක මනරම්

ලන්ද පුරා තැන තැන ගිය කාලය පෙරසේ
වින්ඳ ගීයෙ මිහිරක හඬ රැව් දෙන අහසේ
කැන්ඳ ලන්ඳ පාමුල තැනු කූඩුවෙ රහසේ
ව්න්ඳ බවක අසිරිය දැන් ගානක් නැතිසේ

පැතුවාට ඉන්න හැමදාමත් පෙර ලෙස ව්ඳිමින්
ගතු වක්ම නොවේ මට එය දැනෙන්නෙ දුකකින්
හිතුවත් නුඹ තිස්සෙම මගෙ පැටවුන් වෙනුවෙන්
සතුටක්ය මෙ මට බැලුවොත් නුඹ පෙම්බර නෙතකින්

දිව එන රැළ්ල පෙරලෙන ලෙස සිප මුදු වැල්ල
සුව විඳි පෙර මතක සිත ගෙන දේ සැනසිල්ල
තව තව සිතන මුදු ඔබ යලි එනවග ලතැවිල්ල
මුව සිප ගනී නිති වැටෙනා දුක් පිරි කඳුලැල්ල

පෙන පිඩු නගන සේ සිඳු සුදු මුදු තලාවේ
පින පව දෙකම නොවැ වෙද දිවි තලාවේ
යන එන ගමන අප නැවතුන මේ ගල් තලාවේ
සැන සුම අද නොමැත නුඹ නැති හුදකලාවේ

කල පෙම මෙයැයි සුන්දර බව පෙර නුඹ හින්දා
මල වට බඹර ලෙස ගුමු නද සේ නිති රැව් දුන්දා
පල ලෙස පෙති දෙපෙති වී කැකුලක් ඉකි බින්ඳා
මුල අග කෙලෙස සිදු වුව මගෙ ලය දුක වින්දා

නුබ කුස පැහැය රත් පාටට හැරෙන විට
නුඹ නැති අඩුව දැනෙනව තාමත් සිතට
හැබ හින් දුටුව සිහිනය බොඳ උනු පවට
නුඹ මක් කරන්නද නොම එනු කඳුලක් නෙතට


ඔබ මට දුර මෙන්ම ලඟටද මල කිය දුනුකේ
නුබ ගන කලුව මැකි සඳ විය පෑ හනිකේ 
පොබ කල මහද පෙම ඔබෙ හද ලස වැලකේ
පබ වත ඔබය හිමිකම නැති මුදු සුදු මැණිකේ

හීන පොදි බැඳ මහ ගෙදර දුක බර දරන්
පේන හැම දේ විඳ නොවිඳ කරදර උර දරන්
පාන පොඩි සිනාවක ඇත දුකම දුක් තද කරන්
සීන කුමරෙකු එතීදැයි සිටී ඇය දැන් මග බලන්

සරුවට තිබුනු කෙස් කලඹද හීන් වෙලා
පිරුවට තිබූ සඳ වත දැන් අවරට හැරිලා
කරවට පබලු වෙනුවට සුරයක නූලක් එතිලා
හරහට හතේ කුජ ශනි ඇත දිගටම ඇලිලා

දින යක් නුඹට මලවිගෙ තරු පායනු නැතිද
පැනයක් නොවෙද උත්තරයක් ලඟ නැතිද
ගානක් නොගෙන සිටියද නුඹ කල පින් මදිද
එන බක් මහේවත් දීගෙක යන්නට බැරි වෙයිද

සිත පූදින පෙම් කැකුලක සුවඳ කවා
ඇත මගේ හදවතෙ හරි මැද ම හොවා
වත ඔබේ දැක සැඟවුනි පුන් සඳ ද පවා
සිත මගෙ රිදුම් දේ දැන් මුලු ගතම දවා

යනෙනා මග දිගට රැඳි පා සටහන් අතරේ
දැනෙනා දෙයක් ඉතිරිව නැති වග තේරේ
සිතනා විලස නොම වී දෙහදක පෙම විසිරේ
පතනා පෙමක හිමිකමකට ඉඩකඩ ඇහිරේ

මහිම නොවෙද ඔබ හට මා පෙම් බැඳි සිත
මෙහිම ගිලන් වෙන්නට වුනි පරාජිතව ගත
කිසිම දෙයක් නොවුනා ලෙස සිටිමුව සිතසිත
අහිමි පෙමට උරුම කියා වෙහෙස නොවෙන් සිත

කල රන් රුවම ලෙස ඇති රුව ඇතියේ
සැල මුතු පෙම මට නුඹගේ හිමිනැතියේ
කල කෙලි කවට කම් උසුලු ද හිටි හැටීයේ
සැල කුව මැනවි එය නොව පෙම හද බැඳීයේ

නෙලුමට මුවා වී දුටු ඔබේ වත මඩල
විඳුමට නොහැකි විනි හද ආදර සිහිල
පිසුමට ඔබේ රුව ඇඳි මැටි කළ කොතල
පෙනුමට නොආවද සිටියේ නුඹෙ හද ඇතුල

කිරුලක උරුම කම ලද වුව එය කම්නැතියේ
සිරුරක අසම සම බව රුව නැති ඇති සැටියේ
කරුමෙක පෙර කලෙක කල පව දුක සැදියේ
උරුමෙක නැතිද මට නුඹෙ පෙම පබවතියේ

හද කලුවර අරන් අහසේ පිරු රටාවට
බොඳ තරු මල් කඩා ගෙන රූ සිතුවමට
අඳින්නට සිතූ ඔබෙ රුව හැඩ රන් පාටකට
කඳුලු බිඳු බොඳ කලා එසැනින් සිත තිබු පාට

අතු කිනිති බිම හෙලා ආ මද දළ සුලඟකට
නෙතු පුරා වට පිරි කඳුලු කඩා වැටි බිමට
ගතු කීව හී ගතුව පෙලා මුලුගතම වටකොට
හිතු නා නුඹ පෑව සෙනෙහෙ බිඳ මොහොතකට

මලානික තරු එලිය කලු අහසෙ මැකු එලිය
පලා ගිය නුඹ පෙර දවසෙ මතකෙට නැගිය
කලා පුර සොලස පිරි සඳක් සේ මට දුන් එලිය
බලා සැනසෙනු කෙලෙස අද අමාවක වැඩිය

වාන් දාන නුඹෙ ආදරෙ වෑ දිය සේම
හීන් හිනාවට හිත මල් පිපුනා බෝම
කාන් දමක්දෝ ඔබේ පෙම මට හැමදාම
හීන් නගේ නුඹ මාගේ නොවැ හැමදාම

හිරිකඩ වැටෙන සීතල ඇති ඇල්හේනේ
තනිකඩ සිතට නුඹෙ හැඩ රුවමයි මැවුනේ
මන්කඩ පැන් වරෙන් මම දැන් තනි යහනේ
පිල්කඩ ඉඳන් දුටු නුඹමයි මගෙ දිවි සිහිනේ

පායන පුන් සඳ සේ දිලි වට රන් තරු ගාවා
පීදෙන කැකුලු පුන්මල සේ මුව රද ගාවා
වෑහෙන පැණි රසම හද දෙතොලේ රස ගාවා
පෑහෙන දවස කවදා දෝ මගෙ පිල්කඩ ගාවා

පිපි මල් තලාවේ මේ සීත මිටියාවතේ
මුමුනා සුපෙම් ගීත පටලා දෑත් එකට
පිය නගමු සොයා අනන්තේ දැවටී හීනයක
සැරි සරනා තුරා එක් වී එකට සංසාරයේ

සියපත් පිපී විල් තෙරේ සුදෝ සුදට
සැනසුම ගෙනේ නිබඳ සිත් පුරා
ඔය නීල නෙත් කාන්ති දිලිසුනා සඳට
නඳුන් උයනක්ම නොවෙදෝ ඔබ සදා

නිල් පාට තරු පිරුන මේ සීත රෑ පුරා
පායා නැගී එන්න සරා සඳ සේ වෙලා
ගිලිහිලා නොම යන්න මහදේ රැඳී ඉන්න
සන්සාරෙ වෙන් කෙරෙන දිවි ඇති තුරා

මට දුක නෑ උඹ වෙනස් උනාට හදිසියේ
මොකද මම දන්නවා ගැලපීමක් නෑ කියල
කරපු තරමක් මම උඹට කැඹුරුවා නොවෙද
ණය ගෙවෙන්න ම නොවේ උඹව මම අරන් ආවෙ

ආ එකට මග දුර උනත් මේ ගමන් මගේ
ඉස්සරහට වඩා උඹ ඇද්දෙ පස්සටමයි
ඒක නිසාම තමයි බර කරට නුදුන්නෙත්
මම ඒ හැම දෙයක්ම දරා ගත්තෙත් උඹ නිසයි

පාට කලු උනත් හැඩයකට නැති පිට පොත්තෙ
බැරි උනා දික්තලා දැක ගන්න මහදක හැඩය නුඹට
ඇසිල්ලෙන් ඇස ගැටුන දික්පිටියාට නුඹ රෑවටුනාට
මතකනම් ආපහු වරෙන් තරහක් නෑ මේ කාලගෝල

අනාචාරයේ හැසිරීමේ වරදට ගැහැනියකට
ගල් ගසා දමා මරන්නට නියම කල මහ විනිසුරුට
අහගන්නට තියෙන එකම එක දෙයක් ඇත මට
පුරුෂයෙකු ද නොවු කවුරුද හෙලා ඇත්තේ වරදකට

වරදෙහි බැඳෙන්නේ ගැහැනුන් තනි තනිව නම්
කර දහි වල ලීවාට කම් නැත කවර යම් නීතියක්
වර දක පොලඹවන පෙලන ලද හැම ගැහැනියක්
පර සිත් නොහඳුනන පිරිමි කම් කල ජඩ කමක්

ගම හෝ රටකට යම් විනයකට හැඩ ගැසෙන්නට
සම සමව තැබිය යුතු නමුත් කවර හෝ නීතියකට
යම පල්ලන් සේ නොසිත කල වරද පවරා ගැහැනියට
තම අත් දෙකෙන් ගල් ගසව් නිවැරදි එකා පලමුවට

කුවේනියකගේ සිත
මම දැකපු මුල් දවසෙදිම තම්මැන්නා වැල්ලෙදි
හිතුවෙ මට ඔබින හොඳම කෙනා ඔබ කියල
මගෙ නෑයො ඔක්කොටම වඩා ආදරේ මං ඔබට
එහෙම නොහිතුවා නං වරිගෙම නහගන්න වද මං

හැම දේම විතරක්ම නොවේ පුද කලේ මම
මුකුත්ම නැතිව උන්නු ඔබට රජ වෙන්නම ඉඩ දුන්නා
හදවතේ විතරක්ම නොවේ මේ මගෙ ගම් රටෙත්
වැදුවා නොවෙද මා නුඹේ ලේ වලින් දරුවන්ම දෙන්නෙක්

මගෙ රූපෙ ලස්සනම නැතුවාද නුඹේ බිසව වෙන්නටම
ඉඩ පාඩු නැති වද්ද මා එක්ක සැතපී යහනක ඉන්ට
ජාතියක් නොබලාම උඹ එක්ක හිටියාට පෙර දවස
දැන් ඉතින් නොරටකින් ආ බිසවකට ඉඩ දීම යුතුකමද

සුදු අරලියා මල් පිපුණු මල්යාය වරවෙලා
බදු අරන් අරක් සිටි සියත් කැල වල්මත් වෙලා
සුදු පාට සමනලුන් කෝ දැන් කොහාටද වෙලා
බදු අරන් සින්නෙටම ඉඩම කාටදෝ විකුනලා

දිය පාරෙ ගලා ගිය කුඩ මසුන් හිරවෙලා මියැදිලා
දිය කඩිති වල් වැදී බොර දියෙන් බොර වෙලා
දිය පාර ලඟ රැඳුනු තනි කොකෙක් දැන් තනිවෙලා
දිය නොරැඳි බිම් කඩක් මුදලකට ඇත විකිනිලා

අරලියා මල් පිරුනු මේ බිමේ අරලියා මල් නැතී
කරකියා ගන්නටම දෙයක් කිසිවෙකු නොම දනී
අරලියා උයන ලෙස නමින් පුවරුවෙකර ඇතී
දැනකියා ගන්න පෙර දවස දත් අයකු මෙහි නැතී

බට හිර අහස තද රත් පැහැවට දිලුනා
වට පිට ආ සෙනග යලි වෙනතට හැරුනා
මට අවනත නොවූ නෙත කඳුලින් පෙඟුනා
හෙට නොව දැන් සිටම නුඹ නැති බව දැනුනා

නල මුදු සුවඳ සේ ගත වට කොට හැමූ වග
කල මුදු පෙම ම හද පුරවා ඔබ පිදූ වග
රළ මුදු සේම දියවර දී සනහා තැබූ වග
කල මුදු කොතෙක් කී දෑ දනී ඔබනො එන වග

ගනඳුර සමග රලු සීතල පිනි වැටිද්දෙන්
පණහැර යන බවක් නොම ලෙස හැඟිද්දෙන්
පැහැසර අරුණ යලි නොම ලොව දකිද්දෙන්
ඔබහැර යන නව ලොවක මට හිරු නැගෙද්දෙන්

එක කුස ඔත්ව එක මව් ඇකයක උන්න
එක වර නොම වුවද දෙතනෙ කිරි බී හැදුන
එක මහ ගෙදර වත්තේ හැම දුව පැන්න
එක බිම් කඩම දැන් හත් කඩකට බෙදින

පිස එන සුලඟ මහ ගෙය පසුකර පැමිණී
බැස යන හිරුගෙ රත් පැහැ වට ගේ දිලුනී
වස විස කැවුනු සේ සිත් නොහොඳින් පෙලුනී
කුස එක වුවද ගත සිත පරහක් බව දැනුනී

බත් පත එකට හිඳ කෑ බිම එලු පැදුරේ
සිත් සේ විඳ නොමඳ ගෙවුකල සොයුරේ
ගත් මග නොමග බැඳිවැට බැමි දෙක අතරේ
සිත් වල තිබුනු හද බැමි බිඳ බිම විසිරේ

තට්ටු හතරෙ බෝඩිමටත් උඩින්
කෙට්ටු වෙලා තිබ්බ හඳ මෝරලා
හෙට්ටු වුනත් දවසම ගත මගෙ
ඔට්ටු වෙන්නෙ හිත උඹගැනමයි

දන්නවා පාලුයි කියල මම නැතුව
ඉන්නවට මහගෙදර දරුවත් එක්ක
පේනවා මගෙ නුඹේ දෙහදක ඇති ගතිය
හිතනවද මං ඉන්නෙ නුඹ නැතුව නුඹ එක්ක

නිල්පාට කහපාට එලි නීවෙන කලාවට
නන් නේක ඇස ලඟම රසම රස ගුලාවක
නුඹෙ වුවන මත බැඳුන අකලංක පෙම් දමක
තෙවැනි සිඛ බිඳ නොගමි ඒත් උඹ ඈතක........

හීතලත් එක්කම කල්තියා හදිසියේ
මේ පාරත් නත්තල කලුකඩ දිගේ
ගෙට එන්නයි හදන්නෙ නැතිදේත් අරගෙන
දෙසැම්බරේටත් ඉස්සර පව පල්ලියට නොගොසින්ම

පොඩ්ඩ්න්ගෙ හිත ඇතුලෙ හීනයට
හරි හමන් උත්තරේකුත් නැතුව
දුක් වින්ඳ දුප්පත් කම එක්ක
මම හිටියෙ හරිම හරි තරහකින්

මේපාරවත් මවා පාන බොරු නැතුව
දුක දකින පොඩි උන්ගෙ හීනයට
පොඩිම පොඩි තෑග්ගක් වත් දෙන්න
මට ටිකක් ඉඩ දියල්ලා කපටියනෙ

උඹලගෙ ගොමස්කඩ විකුන ගෙන කන්න
මාව උකසට නොතියා ඉද්දරින් බොරුවට
පොඩි උන්ගෙ පොඩි හීන වුව බොඳ නොකල
මමය නත්තලේ සීයා මීට සැන්ටා ක්ලවුස් 

කෝච්චිය එන අඬට ඉස්සරම ඇහැරෙන්න
අමතක වෙලා ඔරලෝසුවේ කටුවලට
ගොස දාන පෝච්චිය රතුවෙලා ගිනියමට
වැටෙන ගිනි දලුපාටමයි අම්මාගෙ කලු මූන

පේලියට හැදෙන රොටි කර පාට පුසුඹකට
විසිවෙලා වහලෙ ඇති ලොකුම හිල්ගොඩ උඩින්
යන්ට ඉස්සරම වාසිටියෙ බෝඩිමට කල්තියා
සුවඳත් අරගෙනම අම්මා හදවතින් මෙහෙ ඇවිත්

වයිවර්න නෙක ඇඳුම් එක ගොඩක කැලතිලා
දුර්වර්න ඔසරි පොට නැති කමට හැඩ වෙලා
පරපුරම දුක වින්ද බව දැන් අමතක වෙලා
කලුපාට වුවන ඇගෙ ලෝගුවෙන් සුදු කලා

ඉර මැකුව කලුපාට හිස් අහස පුරාවට
තරු කිනිති ඉහිරිලා හිත් පිරෙන රටාවට
වරු දෙවරු ගතවෙලා ඇති මේ වෙලාවක
ඉර බටු තරුව විය හද අහසෙ පුරාවට

රෑ සීත ගත පෙලයි හුරු නුහුරු තනිකමට
පෑ සෙනෙහෙ මියැදිලා එක රෑක හීනයක
රූ මතක සිතුවමක එකින් එක පෙල ගැසින
රෑ අහසෙ කලුවරට නුඹයි මට තනි තරුව

හිත බිඳුන හද තැවුල දෙන විටෙක
ගත පෙලන පාලුවම ලද බිඳි සිතක
නෙත අගට ඉනු කඳුලකට පෑ සුසුමක
සිත හදනු හැකි නොවෙද ලය පබැඳි කවියක


ඔබගෙ කවි සිත ට
දැනෙන සිතුවිල්ලක ට
පබැඳි පද පේලියක ට
ඉඩ හසර දෙමි හැමවිට

ගජයා........2015.11.29

තරහා සිතක් ඇති වුන මුදු මා කෙරේ
විරහා වුන හදක් සනසන්න ද කොයි ලෙසේ
පරහා නොම වෙන්න ජීවිත මග යන දිගේ
විදහා දෙ අත ගෙන යමි සම සම ලෙසේ

කලුවර අහස හී ගතු බව පෙලන ගත
දියවර නොරැඳි හද බිම ඉරි තැලුනු දින
පෙම්බර බවක සිසිලස නොගැටුන මසිත
සුන්දර බව දුට්මි ඇගෙ නෙතු කැන් අතර

කෙලෙසක කවුරු කීවත් දැන් හරි වැරදී
විලසක සිටිමු අපි නොම තුන් සිත පැරදී
බිරිඳක ලෙසින් දැන් ඔබ මගෙ සිත හැඳිනී
වරදක හවුල් කරු කවුරුද කිව නොහැකී

ඔබ කලා මගේ හද තුල ගෙත්තම්
පොබ වෙලා මසිත කල පෙම අන්දම්
නුබ ගැබම කලා වැනි රෑ සිත්තම්
නුඹ තමයි අහස මම තරු වෙන්නම්

හද වලාකුලක සතපා රහසේ
මද හාස කැටිව පිවිතුරු මනසේ
පුද දුන්නු සෙනේ මා සොඳසේ
අද එවමි ඔබට කාටත් රහසේ

හිරැ සඳට එලිය කර වන විලසින්
සරු කෙතට වැටෙන දිය සේ අහසින්
පිරු කලා සොලස වූ සඳ විලසින්
හිරැ මෙන්ම ඔබය පෑ සඳ එකවන්

අවසරයි ඉගිලෙන්න යන්න හිත ඇති තැනක
දිගු දුරයි අප එක්ව ආ මගේ සිත් මතක
නිදිවරයි නෙත් දෙකම කරන ලද පෙර පවක
දුක්බරයි අපි දෙදෙන ප්‍රේමයද මේ සිත් දෙකක

කල වරද දැනැ ගන්න මේ වෙලාවද නොවේ
පල කරන ඔබෙ හැඟුම පිවිතුරුම පෙම නොවේ
සැලමුතු පෙමක් විඳ නොවිඳි අම රස සුවේ
වැලපෙනු මිස ඉතිරි මතක අමතක නොවේ

යන නොමග මග වුවද යන ගමන මේ වෙලේ
පන මෙන්ම කල පෙමක් ඇයිද අවසන් කලේ
දැන ගන්න කල වරද ඔබ වෙතට කොයිකලේ
පින පවට හිමි අහිමි ඔබනොවෙයි පෙම් කලේ




සිසිලසම නොම රැඳුනු මීදුමේ පටලැවුන
පපු තුරෙක හද සුසුම ලං ලංව හිඳ දැනුන
ඔබ සමග මා උන්න හන්තාන කඳු මුදුන
මතකයක සිත දැවී කඳුලු බිඳු බිම වැටින

ආ මගක සලකුනක් නොතබාම හිටිහැටිය
පා සෙනෙහෙ ගලන දිය සිසිල මට දුන් විදිය
සා විලස ගලා ගිය බොර දියැති මහවැලි නදිය
මා කෙලෙස විඳ ගම්ද ඔබ කරපු මේ හදිය

කල කී කතා නිති
සල කුණු තබා ඇති
ඔබෙ හද තුල නොඇතී
එයද ඔබෙ ආදරේ ගතී

මල් පිපී හැම ගහක පුරා බිම විසිරිලා
ගල් කුලක වැදී එන සුළඟ දැන් වියැලිලා
කල් ඉක්ම ගොස් අපේ ආදරේ ගොලු වෙලා
අපි උන්න වල කොනත් තාම තනිකඩ වෙලා


ඇඟ දුවන රිහිරු බිඳ දන් දී මුදල් කර
දුක් දකින පව ගෙවන පොඩිම පොඩි උන් පිණිස
තම දැනුම පසෙක ලා සම සමව දිවි දෙන්න
තැනූ රතු මල් පලස කැඩී පොඩි වී ගොසින

දෑ කැත්ත කුලු ගෙඩිය රතු පාට තනි තරුව
මුදු බවම නොම ඇතී දැඩිව වට ගන රැවුල
පසු පසම නොවම දැක ලොවෙහි ඉදිරිය මගේ
නුඹ තැනූව රතු පලස දියවිලා මේ ඉල් මහේ

ලොවක වසන්නට එක්වනැසෙන්නට සම සම ලෙසේ
පවක නොවන්නට උපන් දැයට දිරිය මිනිහෙකු සේ
රටක නැගෙන්නට ජන මන පුදනා උදා දිනිඳුසේ
විටෙක දිනන්නට හැකිය නොම බෙදී සිටිව් නො මළ සේ


හිතට දැනෙන හැම දේම
කියා ගන්නට බැරි උනත්
කවිකාර කම නොවේ මේ
ලියැවෙන්නෙ මගෙ හිතයි

මුහුනු පොත බලන ඔබ ද 
මගෙ ලබැඳි මිතුරනේ සුහද
සදොස් තැන නිදොස් කර ගන්න
මගෙ කුකවි කියවන්න සීරුවට

ඔබගෙ අදහස් නිබඳ මල් හෝ ගල් වුවද
පිලි ගනිමි බැතියෙන්ම හැ දෙන්නට
සුහුඹුලෙකු සේ සිටින මට අද
සමනලයෙක්ව කවි අහසෙ ඉගිලෙන්න